IMG-LOGO

දස අත විහිදුණ රංගන ප්‍රතිභාව විමල් කුමාර ද කොස්තා

2016-11-21-ent-87

හැට අට වෙනි වියේදී දිවිගමනින් සමුගත් ජ්‍යේෂ්ඨ රංගවේදී විමල් කුමාර ද කොස්තා කලාකරුවා ගැන ලියන්නට බොහෝ කරුණු තිබේ. ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ගත කළ මගේ පාසල් වියේදී පික්චර් පිස්සෙකු වූ මා ගාල්ලේ සරසවි, ක්වීන්ස් හා ප්‍රින්ස් සිනමාහල්වල පළමු දින නැරඹූ සෑම මංගල දර්ශනයකම සිටි, මුහුණට වඩා විශාල පොකුටු කොණ්ඩය සහිත අපූරු බස්වහරක් හා අංග චලනයක් තිබූ ප්‍රතිභාපූර්ණ නළුවා කෙසේ අමතක කරන්නද? ටයිටස් තොටවත්ත අධ්‍යක්‍ෂණය කළ "මරුවා සමග වාසේ" (1977) චිත්‍රපටයේ එම්.එස් ප්‍රනාන්දු සමග එච්.ආර් ජෝතිපාල ගැයූ "තැටිය මැද්දෙ කළු කරාපු - පහන් තිරය මැදට ආපු - හනුමන්ටත් පුදුම හිතෙනවා" ගීතයේ එම්.එස් ගේ හඬ චිත්‍රපටයේ ජීවමාන කළේ විමල් කුමාර ද කොස්තාය. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "අනුපමා" (1978) චිත්‍රපටයේ එම්.එස් ප්‍රනාන්දු සමග එච්.ආර් ජෝතිපාල ගැයූ "රාජ කිරුළු පලන්දාපු රජ්ජුරුවෝ" ගීතයේ එම්.එස්ගේ කටහඬ තිරය මතදී මැව්වේද ඔහුය. මේ චිත්‍රපට දෙකේම කොස්තා සමග ජෝතිගේ හඬ වෙනුවෙන් රංගන වින්‍යාසය මැවූයේ ඔහුගේ හිතමිතුරු හඳ බැඳි නළු විජය කුමාරතුංගය.

කොස්තාගේ හා විජයගේ ළබැඳි මිතුරා වන අමරසිරි කලංසූරිය තිදෙනා ආචාර්ය ධර්මසේන පතිරාජගේ "බඹරු ඇවිත්" (1978) චිත්‍රපටයේ ඇඳුම් උනා දමා නිර්වස්ත්‍රව වෙරළේ නිදහසේ ඇවිදගෙන යන දර්ශනය අපේ හිත්වලින් කෙසේ මකන්නද?

2016-11-21-ent-88මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ රංගනය වෙනුවෙන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා සම්මාන ලද පතිරාජයන්ගේම "එයා දැන් ලොකු ළමයෙක්" (1977) චිත්‍රපටය එදා ප්‍රචාරණයේදී ගාම්භීර කටහඬක් හිමි ප්‍රබල නිවේදක බණ්ඩාර කේ. විජේතුංග හඬගැන්වූ "එක් වැසිබර අඳුරු රැයක් තෙක් -ඇය පියකරු වතු සුදු මලක්" වාග් මාලාවෙන් ඇතිකළ බියකරු බව චිත්‍රපටයේදී මතු කළ රංගවේදියාද ඔහුය. එම බියකරු බව ගාමිණී හේවාවිතාරණගේ "රක්තා" (1980) චිත්‍රපටයේදීද ඔහු මැවූයේද මාලිනීටම එරෙහිවය. සිංහල සිනමාවේදී මෙන්ම වේදිකාවේදීද තමන්ටම හිමි වෙනස්ම රංගන රීතියක් හඳුන්වාදුන් මේ ප්‍රබල අභිරූපන රංගන ශිල්පියා සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ "සතර දිගන්තය" (1981) චිත්‍රපටයේදී "චාලි චැප්ලීන්" විය. වීදී රංගනවේදියෙකුගේ චරිතයක් මැවූ ඔහු එහි "කව් බෝයි" කෙනෙකු විය.

සතිශ්ගේම "ශ්‍රී මදාරා" (1977) හා "අධිෂ්ඨානය" (1982) චිත්‍රපටවලද හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ චරිත දෙකක්ද ඔහු ප්‍රතිනිර්මාණය කළේය. පී. වික්‍රමනායකගේ චිත්‍රකතාව අනුසාරයෙන් ඩැනී. ඩබ්ලිව් පතිරණ අධ්‍යක්‍ෂණය කළ "චන්දීරා" (1983) චිත්‍රපටයේ රෙක්ස් කොඩිප්පිලිගේ හා ශ්‍රියානි අමරසේකරගේ ප්‍රේම විජිතය දෙදරවාලන "ගිඩීරියන් " වූයේද ඔහුය.

යුගයක විවාදාත්මක චිත්‍රපටයක් වූ ගාමිණී ෆොන්සේකාගේ "සාගරයක් මැද" (1981) චිත්‍රපටයේ රැඩිකල් දේශපාලන ලකුණ මූර්තිමත් කළේද කොස්තාය.

සිනමා චරිතාංග රංගන විජිතයේ අනභිභවනීය සටහන් තැබූ විමල් කුමාර ද කොස්තාගේ හැකියාව ආචාර්ය ධර්මසේන පතිරාජගේ "අහස් ගව්ව" (1974), "පාරදිගේ" (1980), එච්.ඩී ප්‍රේමරත්නගේ "සිකුරුලියා" (1975), ගාමිණී හේවාවිතාරණගේ "හරියනකොට ඔහොම තමයි" (1977), ටී. අර්ජුනගේ "වසන්තේ දවසක්" (1979), මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "සරුංගලේ" (1979), විජය ධර්මශ්‍රීගේ "චූඩා මාණික්‍යය"  (1979), නීල් රූපසිංහගේ 'අමල් බිසෝ" (1979), හර්බට් රංජිත් පිරීස්ගේ "එක්ටැම්ගේ" (1980), ගාමිණී ෆොන්සේකාගේ %මයුරිගේ කතාව^ (1980), %"බාඳුරා මල් (1981), සක්විති සුවය (1982) මෙන්ම හේමසිරි සෙල්ලප්පෙරුමගේ "සත්වෙනි දවස" (1981) චිත්‍රපටවලදීද දැකගත හැකිය.

සොඳුරු ගීත සහිත ආකර්ෂණීය සිනමාවක් බිහිකළ සිනමාවේදී සේන සමරසිංහගේ චිත්‍රපටවල චරිතයක් අනිවාර්ය වූ විමල් කුමාරද කොස්තා "නිල්ල සොයා" (1976), "ආශා දෑසින්" (1978), "මල් කැකුළු" (1980) සහ 'චංචල රේඛා" (1981) චිත්‍රපටවලදී ප්‍රබල නළු ගාමිණී ෆොන්සේකා සමග රංගනයේ යෙදුණේය. ඇතැම් චිත්‍රපටයක කොස්තාගේ ළබැඳි මිතුරගේ චරිතය මැවූයේ නළු බන්දු සමරසිංහයි. මෙවැනි චරිත තුළින් සිනමාවේ ප්‍රහසය මැවූ චරිත ගණනක සිනහවේ ලකුණක් ලෙසද ප්‍රේක්‍ෂක මතකයේ රැඳුණු මේ අසහාය කලාකරුවා, හෙළ සිනමාවේ අවස්ථා ගණනාවක සුපිරි විකටයෙකුද විය. දශක දෙකක ප්‍රභාමත් රංගන අතීතයක් සතු ඔහු සේන සමරසිංහගේම %ඈතින් ඈතට^ (1983) චිත්‍රපටයේදී කරුණාරත්න හඟවත්ත සහ රසාදරී ෆොන්සේකාගේ ප්‍රේමයට හරිස් වන %විමලේ^ විය.

එමෙන්ම වසන්ත ඔබේසේකර අධ්‍යක්‍ෂණය කළ %දියමන්ති^ (1976) චිත්‍රපටයේ විජයකුමාරතුංග හා සෝමසිරි දෙහිපිටිය සමග උද්වේගකර චරිත ගැටුමකට මැදිවූ මේ ප්‍රභලයාගේ දිවියේ අවසන් දශක දෙක අතිශයින්ම අභියෝගාත්මක උද්වේගකර අවධියක් වූ බවද මෙහි අවසානයේ සටහන් කිරීමට සිදුව ඇත. විමල් කුමාර ද කොස්තාගේ රංගන පෞරුෂය හෙළ සිනමාවේ සදා අනුස්මරණීය වනු ඇත. ඔහුගේ වියෝවෙන් කම්පාවන්නන් අතර, ඔහුගේ ප්‍රිය බිරිඳ රේණුකාද, පුතුන් දෙදෙනාද, දියණියද වෙයි.

 

පද්මකුමා පී.මෙත්තසේන

 

2016-11-21-ent-85
2016-11-21-ent-84



අදහස් (0)

දස අත විහිදුණ රංගන ප්‍රතිභාව විමල් කුමාර ද කොස්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site