(ඩයනා උදයංගනී)

මහනුවර මහ රෝහලේ දී සිදුකළ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම අසාර්ථක වීම සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්‍ෂණයක් කරන බව සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

හදවත බද්ධ කළ දැරිය මියයාම සිදුවූයේ කිසිවකුගේ හෝ වරදින් බව එහිදී හෙළිවුවහොත් වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබාදෙන බව ද ඇමතිවරයා කීවේය.

මෙම සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරුන් හා සැත්කමට භාජනය වූ තරුණියගේ පවුලේ අය සමඟ තමන් සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා මෙහිදී සිදුව ඇත්තේ කඩාකප්පල් ක‍්‍රියාවක් නොවන බව ද කියයි.

සැත්කම ඉතා නිවැරදිව සිදුවී රුධිරය පොම්ප කිරීම පවා සාර්ථකව සිදුවී ඇතැයි කී අමාත්‍යවරයා පසුව රෝගියාගේ ශරීරයට විෂබීජ ඇතුළු වී ඇතත් ඒ ගැන අවධානය යොමු වී නැති බව පෙනෙන්නේ යැයි ප්‍රකාශ කරයි.

එකිනෙකාගේ මතභේද මෙයට හේතුවූයේ ද යන්න කිව හැක්කේ පරීක්‍ෂණයෙන් පසු බවද ඇමතිවරයා පවසයි.
සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.