(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රෝගියකුගේ වෙස්ගෙන  කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ  වයෝවෘද්ධ සේවකයකුගේ  අත් පා ගැට ගසා හෙද සහායිකාවකට ලිංගික  අතවර කිරීමට තැත් කර ඇයගේ ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය  කොල්ල කා පලා ගිය බව කියන "ගෝනපොළ  සුදු" නැමැත්තා  දින තුනක් ඇතුළත අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු එලෙස කොල්ල කන ලද රන් මාලය හා පෙන්ඩනය පිළියන්දල පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට  උගස් කර තිබියදී  සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු ඉකුත්  (30) දහවල් එම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයකු සේ පැමිණ සවසට වෛද්‍යවරයා හමුවීමට හෙද සහායිකාව ගෙන් අංකයක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

එම අංක ලබාදෙන්නේ සවස තුනෙන් පසුව යයි  හෙද සහායිකාව   සැකකරුට පැවසීමෙන් අනතුරුව  වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටතට ගොස්  තිබූ සැකකරු විනාඩි කිහිපයක් තුළදී  නැවත වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ  ඉහළ මහලට ගොස් එහි සිටි වයෝවෘධ සේවකයාට උල් පිහියක් එල්ලකර මරණීය තර්ජනය කර ඒ ආසන්නයේ  කාමරයට ඇදගෙන ගොස්  අත පය ගැට ගසා ඔහු සතුව තිබූ යතුරු කැරැල්ලක් සිය භාරයට ගෙන කාමරේ දොර වසා පිටතට පැමිණ තිබූ බව පොලිසිය කියයි

අනතුරුව සැකකරු සේවිකාව අසලට ගොස් යතුරු කැරැල්ල ඇය අතට ලබාදී  එය රැගෙන උඩුමහලට පැමිණ ලෙස අංකල් කීවා යැයි  පවසා තිබේ.

හෙද සහයිකාව  යතුරු කැරැල්ලක් රැගෙන පියගැටපෙල නගින අතර වාරයේදී ඇය අනුගමනය කරමින් ඇය පසුපස ගිය සැකකරු ඇය උඩුමහලට පිවිසෙනවාත් සමගම ඇයට ද පෙර ආකාරයෙන්ම උල් පිහි එල්ල කර රන් මාලය  කොල්ල කෑමට උත්සහ දැරීමේදී  එය වැළැක්වීම සඳහා   ඇය කොල්ලකරු සමග පොරබදා ඇති අතර ඒ සමඟම සැකකරු ඇයට ලිංගික අතවර කිරීමට සූදානම් වීමේ දී අත පය ගැට ගසා මහත් අපහසුවෙන් සිටි වයෝවෘධ පුද්ගලයා" පුතේ ඔය මාලය ගලවා එයාට දෙන්න" යැයි පවසා ඇති අතර හෙද සහායිකාව  මාලය ගලවලා සැකකරු අතට ලබා දීමත් සමඟම සැකකරු වහා  වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පැමිණිල්ලේ සදහන්වේ.

රන්මාලය  කොල්ලකෑමෙන් අනතුරුව  සැකකරු වෛද්‍ය මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ ගොස් ගෝනමඩිත්ත ප්‍රදේශයේදී ඉදිරියට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් රන් භාණ්ඩ  උගස් තබන මධ්‍යස්ථානයකට ගොස්

රුපියල් 60,000  කට රන්මාලය උගස් කර එම මුදල් ද රැගෙන ගල්කිස්ස බඩෝවිට දක්වා යාමට අවශ්‍ය බව රියදුරුට පවසා අත්තිඩිය  ප්‍රදේශයට යාමේදී තී රෝද රථයෙන් බැස ගොස් ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුට පානය කිරීම සඳහා කිරි පැකට් මිලදී ගෙන තිබූ බව ද  පොලිසිය කියයි.

අනතුරුව බඩෝවිට දක්වා ගොස්  හතළිස්  දහසකට අධික මුදලකට මත්කුඩු ලබාගෙන   තීරෝද රථ රියදුරුට  කුලිය වශයෙන් රුපියල් හත්සියයක් ලබාදී ඔහු පිටත් කර තිබූ බව පොලිසිය කියයි

ත්‍රීරෝද රථ රියදුරු කුලී  ගමන් නිමා කර නිවසට පැමිණි අවස්ථාවේදී තම  දියණියට වෛද්‍ය මධ්‍යස්ථානයේදී  සිදුවු අකරතැබ්බ පැවසීමෙන් අනතුරුව තම තී රෝද රථයෙන් පිළියන්දල ට සහ බඩෝවිට දක්වා ගමන් කළේ  දියණියගේ  රන්මාලය කොල්ලකෑ පුද්ගලයා බවට  පසක් වී තිබූ බව පොලිසිය කියයි.

 

ඒ අනුව ත්‍රිරෝද රථ රියදුරු  සියලු තොරතුරු පොලිස් නිලධාරීන්ට පැවසීමෙන් අනතුරුව වෛද්‍ය මධ්‍යස්ථානයේ  ආරක්ෂිත කැමරා දර්ශන ද ,රන් භාණ්ඩ උකස් තැබූ මධ්‍යස්ථානයේ ආරක්ෂිත  කැමරා දර්ශනද ලබාගෙන එම දර්ශන ත්‍රීරෝද රථ රියදුරුට සහ  හෙද  සහායිකාවට පෙන්වීමෙන් අනතුරුව   රන්මාලය කොල්ල කෑ පුද්ගලයා ඔහු බවට  හෙද  සහායිකාව හඳුනාගෙන තිබූ අතර ,රන් මාලයක් උගස් තැබීම සඳහා යැයි පවසමින් ත්‍රිරෝද රථයෙන්ද  ගමන් ගත්තේ එම පුද්ගලයාම බවත් හෙද සහායිකාව ගේ පියා වන  ත්‍රීරෝද රථ රියදුරු  විසින්ද හඳුනාගත් බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් පැවසීය.

අදාල සි සි ටි වි දර්ශන ඔස්සේ  විමර්ශන සිදු කරමින් සිටියදී එම සැකකරු සම්බන්ධයෙන්  පොලිස් කොස්තාපල් 75769 ජයතුංග නිලධාරියාට ලද සාර්ථක තොරතුරක් ඔස්සේ සිදුකළ දීර්ඝ  විමර්ශනයකින් අනතුරුව සැකකරු කහතුඩුවේ දී අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියක් පැවැසීය  .

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  මීට මාස හතකට ඉහත දී කුඹුක ප්‍රදේශයේ වැඩ බිමකින් සොරා ගත් මුදල් පසුම්බිය තිබූ රියදුරු බලපත්‍රයක් උපයෝගී කරගෙන රන්මාලය  හා පෙන්ඩනය උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි

ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සොරකම්, කොල්ලකෑම් සහ මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා වෙසක්  ලැබූවෙක් බවත් පොලිසිය කියයි

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත කැස්බෑව පොලිසිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ප්‍රදීප් සෙනෙවිරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 75769 97264 සුදර්ශන මහත්වරු  පරීක්ෂණ පවත්වති.