(යොහාන් භාසුර)

ජනතාව සමඟ ගණුදෙනු කිරීම පිළිබඳව අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් (කොන්දොස්තර) දැනුවත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම එක්දින වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.  

මෙම වැඩසටහනේ පළමු අදියර කොළඹට සිට කතරගම දක්වා වන මාර්ගයේ දුරගමන් සේවා බස් රථ රියදුරු සහ රියසහයකයන් වෙනුවෙන් පවත්වන බවත් එහිදී ගාල්ල දිස්ත්‍රික්කය වෙනම සහ මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ඒකාබද්ධව ද පවත්වන බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

කොළඹ හරහා ගාලු පාර හරහා  කතරගම දක්වා වන දුර ගමන් සේවා බස්රථවල රථ රියදුරු සහ රියසහයකයන් 1500 ක් පමණ පළමු අදියර වැඩමුළුවට සහභාගි වීමට නියමිත බව ද කී තිලාන් මිරැන්ඩා මහතා සමස්ත ශ්‍රී ලංකාව ආවරණ වන පරිදි මෙම වැඩසටහනේ තවත් අදියර හතරක් පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.