දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු රාත්‍රි සේවා මුර අහෝසි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. හෙදියන් සඳහා සහනයක් දෙන බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ඒ බව හෙළි කළේය. දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහල්   8 කින් යුත් කළුතර නව හෙද විද්‍යාලය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. 

“හෙද හෙදියන් වෙනුවෙන් මම තවත් සහනයක් දෙනවා. දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු හෙදියන් සදහා රාත්‍රි සේවා මුර අහෝසි කිරිම එම සහනයයි. එවිට දහවල් සේවා මුරය පමණයි කරන්න තිඛෙන්නේ. එමගින් දරුවාට අවශ්‍ය රැකවරණය ද ලැඛෙනවා” යැයිද ඇමැතිවරයා කීවේය.

"හෙද හෙදියන් වෙනුවෙන් අතිකාල දීමනා ඉහළ දැමීමට පියවර ගත්තා. වත්මන් රජය විසින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කළා. එයට සමගාමීව අතිකාල දීමනා ද වැඩිකළ යුතු බවට වෘත්තීය සමිති ඉල්ලා සිටියා. ඒ අනුව මගේ මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර වැඩිකළ වැටුපට සාපේක්ෂව 2016 ජනවාරි 1 වැනිදා සිට අතිකාල දීමනා වැඩි කළා. ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර තිඛෙනවා “ යයිද ඇමති සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.