(අංජුල මහික වීරරත්න)

වඩාත් දියුණු සහ සහකම්පනයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්‍රී ලංකා රසායනික ව්‍යාධිවේදීන්ගේ විද්‍යායතනයේ 11 වැනි වාර්ෂික අධ්‍යයන සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මෙම සැසිය පැවැත්විණි.

“පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ යුගයේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ අන්තර් විෂය සහයෝගීතාවය ” යන තේමාව යටතේ මෙවර වාර්ෂික අධ්‍යයන සැසිය පැවැත්වුණු අතර, මෙම සැසියේ දී රෝගී සත්කාරය නංවාලීම සඳහා නවීන තාක්ෂණය, කාර්යක්ෂම රසායනාගාර කළමනාකරණය සහ වෘත්තීය කුසලතා වර්ධනය කෙරෙහි   අවධානය යොමු කෙරිණි. 

සැසියේ සමාරම්භක උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන ලද්දේ නූතන සෞඛ්‍ය සේවාව තුළ රසායනික ව්‍යාධිවේදය (Chemical Pathology) නිහඬව වුවද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවයි.