(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුද සමයේදී උතුරේ  අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක්  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභාගර්භයේ අද (12)  පෙරවරුවේ  විරෝධතාවක  නිරත වූහ.

මේ විරෝධතාව  පැවැත්වූයේ යුද සමයේදී  උතුරේ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන්  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ රාධලිංගම් මහතා කතා කරමින් සිටියදීය.

සෙල්වම් අඩෙයිකලනාදන්, ගෝවින්දන් කරුණාකරන් සහ   චාල්ස් නිර්මලනාදන්  ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්  පිරිසක් මෙම විරෝධතාවයට එක්වී සිටිනු දැක ගත හැකිවිය.

උතුරේ පිරිසක් අතුරුදන්වී දින දෙදහසක් ගතවී ඇතත් ඒ අයගේ පවුල් වලට තවමත් සාධාරණය ඉටුවී නැතැයි චෝදනා කළ  එම මන්ත්‍රීවරු ඒ  පිරිස්වලට වහාම සාධාරණය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළහ.