(යොහාන් භාසුර)

රජයට පාඩුවන වෘත්තිය ක්‍රියාමාර්ගය දිගින් දිගටම ක්‍රියාත්මක කෙරෙන්නේ නම් එයට සහයෝගය නොදී දුම්රිය ධාවනය අත්හිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා අද (26) පස්වරුවේ පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක තිබෙන වර්ජනය දේශපාලන අරමුණකින් කරන්නක් බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන සමගි ජන බලවේගය සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත් දුම්රිය වෘත්තීය සමිති කීපයක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ සඳහන් කළේය.

ඉල්ලීම් ලබාදී තිබියදී එම ඉල්ලීම්වලට එකඟතාවය පළ කර සාකච්ඡාවෙන් අනතුරුව නැවත එකඟතා කඩකරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන බව එහිදී කී දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා වෙැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගත යුතු ක්‍රියාමාර්ග ඕනෑ තරම් තිබියදී වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයෙන් රජයේ ඇතැම් අමාත්‍යවරු කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා ද සහභාගි විය.