(දිලංගා ගෝමස්)

රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු  අල්ලා ගැනීමට ගිය ආරක්ෂක නිලධාරියකුට එක් සැකකරුවකු පිහියකින් පහර දී කපා තුවාල සිදු කර පැන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

සැකකරු සමග පැමිණි අනෙක් පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් අල්ලා ගල්කිස්ස පොලිසිය වෙත බාර දීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු රත්මලාන ජයසුමනාරාම පාරේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට පත් සැකකරු තවත් පුද්ගලයකු සමඟ අළුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි කොටස් ඇති ප්‍රදේශයට ඇතුළු වී සිටිනු දැක ඇති දුම්රිය ආරක්ෂක නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට උත්සාහ දරන අවස්ථාවේ දී එක් සැකකරුවකු ආරක්ෂක නිලධාරියකුගේ දෑත් පිහියකින් කපා පැනගොස් ඇති බව පොලිසිය පවසයි.