(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිල් වෙල්ලාලගේ සහ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් බවත් ඔවුන් තරගාවලියට ඇතුළත්වුවහොත් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අනිවාර්යෙන්ම ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානම ලීග් තරගාවලිය වන මෙම තරගාවලියට පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ නම ගිය ක්‍රීඩකයන්ට ද අවස්ථාව නොලැබුණු බව කී ශම්මි සිල්වා මහතා මෙය එම තරුණ ක්‍රීඩකයන් දෙපළට අත්දැකීම් ලබාගැනීමට අනගි අවස්ථාවක් බව ද සඳහන් කළේය.

ඉන්දියාව ඔවුන්ගේ වයස 19 න් පහළ ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි කරවීමෙන් අත්දැකීම් ලබාදෙන බවත් ලෝකයේ සියලුම ප්‍රබල ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගිවීම නිසා එය අත්දැකීම් පිරුණු තැනක් බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

එම ක්‍රීඩකයන් දෙදෙනාට ඉන්දීය රුපියල් ලක්‍ෂ 20 බැගින් මූලික ලංසුවක් ඉදිරිපත් වී තිබේ.

වෙල්ලාලගේ සහ මතීෂ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටිති.