(ගයාන් සූරියආරච්චි)

‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න ‘ යනුවෙන් පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා රොෂාන්ගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල නිරිපොළ ප්‍ර දේශයේ පදිංචි 31 හැවිරිදි කාරියවසම් අතුකෝරළගේ දොන් මධුසංක නැමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නැමැත්තා සහ මන්නා රොෂාන් අතර පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවී තිබූ ආරවුලක් මත මෙම වෙඩි තිබීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරණයවී තිබේ.

මීට මාස කීපයකට පෙර පාදුක්ක ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරකු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ වෙල්යායක් අසල කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී සැඟවී සිටි නාදුනන වෙඩික්කරුවකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

එහිදී වෙඩි ප්‍රහාර 8 ක් පමණ තබා ඇති අතර මන්නා රොෂාන්ගේ සහෝදරයා ඔහුට අයත් හංවැල්ල නිරිපොළ වැලි තොටුපොළක් වෙත පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 500 ක පමණ වපසරියක් තුළ සී.සී.ටී.වී දර්ශන හෝ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති අතර ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ දුරකතන කුලුනු සංඥා මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, යුද හමුදාව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරී අජිත් ගුණවර්ධන, හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.