(විමුක්ති එස් රුද්‍රිගු)

දිට්වා සුළි කුණාටුවෙන් මෙරට සිදුව ඇති හානිය ඇස්තමේන්තු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජුලි කොසැක් මහත්මිය අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

එළැඹෙන 22 වැනිදා මෙරටට පැමිණෙන දූත පිරිස ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇතැයිද ඇය පැවසුවාය.

සිදුව ඇති හානිය පිළිබඳව කරුණු සොයා බැලීමේ මෙහෙයුමකට පැමිණෙන එම දූත කණ්ඩායම හානිය හේතුවෙන් මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධාවන් පිළිබඳව රජය සමඟ සාකච්ඡා කරනු ඇතැයි ඇතැයිද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

එවැනි මෙහෙයුමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් මෙරටට පැමිණෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුව ඇති හානිය පිළිබඳව පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට බවද ඇය පැවසුවාය.