(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවෙන් ලැබීමට නියමිත රුපියල් කෝටි 4ක පමණ උසාවි දඩ මුදල් හා මුද්දර ගාස්තු මෙතෙක් නොලැබීම හේතුවෙන් හික්කඩුව ප්‍රාදේශීය සභාව බරපතල මූල්‍යමය ගැටලුවකට මුහුණපා ඇතැයි එහි සභාපති විනී කාරියවසම් මහතා අද(20) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පැවසීය.
මේ හේතුවෙන් කසළ ප්‍රශ්නය ඇතුළු අනෙකුත් සංවර්ධන ක්‍රියාවලියකට යෙදවීමට මුදල් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ ය.
එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද පැවැත්වුණු ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔහු මෙසේ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ උසාවි දඩ මුදල් ප්‍රාදේශීය සභාවලට ලබා නොදීම සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවයි. මේ වනවිට පළාත් සභා විසිරුවා හැර ඇති බැවින් මෙම මුදල් පළාත් පාළන ආයතන වෙත බෙදා දීමේ හැකියාව ආණ්ඩුකාරවරයා සතුව පවතින බවත් හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
“උසාවි දඩ මුදල් භාණ්ඩාගාරයට යන්නේ නැහැ, ඒවා යන්නේ පළාත් සභාවට. මේ මුදල් නියමිත කාලයට ප්‍රාදේශීය සභාවලට දෙන්නේ නැතිව හිර කරගෙන ඉන්නේ ඇයි? අද ප්‍රාදේශීය සභාවකට වීදි ලාම්පුවක් දාගන්නවත් පාරක් අලුත්වැඩියා කරගන්නවත් සල්ලි නෑ. කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳන්න” යැයි හෙතෙම පැවසීය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසා සිටියේ මෙම මුදල් නොලැබීම හේතුවෙන් දකුණේ ප්‍රාදේශීය සභා අකර්මන්‍ය වී ඇති බවයි. නියමිත මුදල් ප්‍රමාණයෙන් අඩක් හෝ හැකි ඉක්මණින් ප්‍රාදේශීය සභා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද වීරක්කොඩි මහතා පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාට එහිදී දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා විතරක් නෙමේ, ප්‍රධාන පක්ෂ දෙකේ නායකයින් රටට, ජනතාවට කොයිතරම් මුදල් වංචා කරලා තියෙනවද? ඉදිරියටත් එහෙමයි. මොවුන් මේ විදියට බයනැතිව හොරකමින් නැවත බලයට පත්වෙන්නේ... තියෙන සම්පත් සේරම හොරාකාළා දැන් කුණු පොහොර ගන්න...
මෙය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන බොරුවක් බව පලාත් සභාව විසින් පෙන්වා දී තිබියදී, පවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩ වෙන් කිරීම කනගාටුවට කරුණකි.
පළාත් සභාවල විතරක් නෙවෙයි දේශපාලුවෝ ගෑවිච්ච තැනක් ඇත්නම් ඉන්නෙ හොරු. නැත්නම් අණ්ඩපාලුවෝ.