දකුණු දිග ඉරානයට ඇමෙරිකන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ, දකුණු ඉරානයේ ඇති ඉරාන විප්ලවීය හමුදාවට අයත් මිසයිල කඳවුරු සහ මුහුදේ බෝම්බ ඇතිරීමට යොදා ගන්නා නාවික යාත්‍රා අංගන ඉලක්ක කර ගනිමිනි.

ඉරාන හමුදාවෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගෙන, ඒවායින් ආරක්ෂා වීමේ අරමුණින්, ආත්මාරක්ෂක උපක්‍රමයක් සේ සලකා මෙම ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් බව ඇමෙරිකන් හමුදාව පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව සහ ඉරානය අතරේ සටන් විරාමයක් පවතී. ඇමෙරිකන් හමුදා දකුණු දිග ඉරානයට පහර දුන්නේ එම සටන් විරාමය අතරතුරේය. ඇමෙරිකා ජනාධිපති එම සටන් විරාමය තවත් දින 60 කට දීර්ඝ කළේ ඇමෙරිකාව සමග පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට ඉරානයට අවස්ථාව දෙමිණි. 

එසේ සටන් විරාමය දීර්ඝ කරන අතරතුරේ ඉරානය සමග සාකච්ඡාවල නියැළෙන සිය නියෝජිත කණ්ඩායමට ට්‍රම්ප් පැවැසුවේ, ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමට හදිසි නොවන ලෙසය. 

ඇමෙරිකාව සහ ඉරානය අතර නව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට ආසන්න තත්ත්වයක පවතින බවත්, නෛතික මට්ටමින් එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවනු ඇති බවත් ට්‍රම්ප්  පවසා ඇත. අර්බුදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ කටයුතු යළි සුපුරුදු ලෙස පවත්වාගෙන යෑම කෙරෙහි ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වෙයි.