(රෝෂන් තුෂාර)

දික්කසාද නඩුවක තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000ක මුදලක් අල්ලසක්  ලබාගත්තේ යැයි කියන කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 01 දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ එස්. ඉසෙඩ් එස් රමීස් සහ ඔහුගේ බිරිඳ පාතිමා රමීස් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කාති උසාවියේ විභාග වූ දික්කසාද නඩුවක තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවය. සැකකරුගේ බිරිඳ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් මෙම දූෂණය නම් වරදට හවුල් වී ඇති බවද පෙන්වා දුන්නේය.

රජයේ සේවකයකු සිට දූෂණය නම් වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව පළමු සැකකරුට එරෙහිව අල්ලස් කොමසාරිස්වරයාගේ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසීය. එම සහතිකය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඇප ලබා ගැනීමට සුවිශේෂී කරුණු අවශ්‍ය බවත් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.