( ප්‍රසාද් රුක්මල් )

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක වෑන් රථයක දමාගෙන පැහැරගෙන යාමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට  පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව බණ්ඩාරවෙල පොලිසිය අද (21) පැවසීය .

බණ්ඩාරවෙල  දුහුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක 6වසරේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් දැරියක මෙසේ වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමට සූදානම් වී ඇතැයි පොලිසිය පපවසයි .

සිසුවිය පාසල නිමවී 19 වන දින  තනිව පාසල් බස්රථයට යාමට සීවලි මාර්ගය ඔස්සේ පාගමනින් යමින් සිටියදී පාසලේ සිට මීටර් 500ක පමණ දුර ග්‍රේන්ජ් ස්ටෙප් පඩිපෙළ ආසන්නයේ දී සුදු පාට කේඩීඑච් වර්ගයේ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබි ඇත.

 කලුපාට ලේන්සුවකින් මුහුණ ආවරණය කරගෙන සිටි තරුණයකු වෑන් රථයෙන් බැස සිසුවිය අසලට පැමිණ අම්මා අසනීප වී රෝහලේ නතර කලා. ඔයාට මේ චොක්ලට් එක දීලා ඔයාව වෑන් එකේ එක්ක එන්න කීවා කියා ඔහු සිසුවියට පවසා ඇති බවත් පොලිසිය සදහන් කලේය .

අම්මා මල්ලි ඉගෙනුම ලබන පාසලට යන බව පෙරදින සිසුවියට මව පැවසු බව සිහිපත් වී ඇති බවත් , ඒ සමගම බියට පත්වූ සිසුවිය පඩිපෙළ ඔස්සේ දිවවිත් බණ්ඩාරවෙල නගරයේ හදුනන රන්භාණ්ඩ අලෙවි කරන සාප්පුවකට ගොස් බේරි ඇතැයි ද පොලිසිය කීය .

පසුව සිසුවිය මව සමඟ පැමිණ පොලිසියට පැමිණිලි කළ බවත් , එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ පොලිස් කංඩායම් යොදා පරීක්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු සදහන් කර සිටියේය.

විශේෂයෙන් පාසල් අසලදී මෙන්ම නගරයේ , මාර්ගවලදි  පැමිණ විවිධ දේ පවසමින්  කතා කරන නාදුනන පුද්ගලයන් සමඟ කතාවට නොයන ලෙසත් ඔවුන් කෑමට දෙන චොක්ලට් ,ටොපි බිස්කට් ,වැනි විවිධ ආහාර වර්ග නොකන ලෙසත් බීමට දෙන බීම වර්ග පානය නොකරන ලෙසත් පොලිසිය පාසල් සිසු සිසුවියන්ගෙන් ඉල්ලයි  .