(ශාන්ත චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)

දින 22කට පෙර අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා හා පාසල් සිසුවා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අද සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.

තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනා හා 14 හැවිරිදි පාසල් සිසුවා පසුගිය මස 14 දින සිට මෙසේ අතුරුදහන්වූ අතර පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගෙන තිබේ.

මෙම අතුරුදහන් සිසුන්ගෙන් පිරිමි සිසුවා හා එක් සිසුවියක සොහොයුරන් වන අතර , අනෙක් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ නිවාස ආශ්‍රිතව පදිංචි වෙනත් පවුල් දෙකක අය බව පොලීසිය කියයි.

දුරකතන දත්ත වාර්තා විශ්ලේෂණය කරමින් මෙම සිසුන් සිව් දෙනා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරු මත පොලීසිය සිදු කරන ලද විශේෂ විමර්ශණවලින් අනතුරුව ඔවුන් සොයා ගත් බව තලවකැලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතා පැවැසීය.