(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 5 කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 

මාලදිවයිනේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍ය  ගීලා අලි (Hon. Geela Ali) මහත්මිය කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුවූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා වෙත නිල වශයෙන් බාර දෙන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන සහ බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව මෙම ඖෂධ ප්‍රදානය සඳහා දායකත්වය ලබා දී තිබේ. 

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා, මෙම ඖෂධ ප්‍රදානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය විශේෂ ස්තුතිය පළ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කළ මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා ද සිහිපත් කළේය.