(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  අද (19) පත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ  කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි.

මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

නිමල් සිරිපාල ද සිල්වා දිනේෂ් ගුණවර්ධන ජොන්ස්ටන් පුනාන්දු  ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ,  ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක ,රවුෆ් හකීම්, විජිත හේරත් සහ  සෙල්වම් අඩෙක්කලනාදන්  එම සාමාජික මන්ත්‍රීවරු වෙති.

මෙම තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 12  දෙනා පත් කිරීම සඳහාවූ යෝජනාව  පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය.

අලුතින් පත් කෙරුණු තේරීම් කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඊයේ පස්වරුවේ පැවැත්වුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.