(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදාහරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කරනු ලැබූ  නියෝගයකට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවන් වන රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන් දෙපල අද (11) ඉවත් වී තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ. ඒ. රෝහණදීර විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි  වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම නම් කරනු ලැබ ඇත .

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණය හමුවේ කැඳවුණු ලැබූ අවස්ථාවේදී විනිසුරුවන් දේපල ඉන් ඉවත්වන බව දැනුම් දුන් අතර අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලෙසට ද මෙහිදී නියෝග නිකුත් විණි.

අභියාචනා පෙත්සමේ මෙසේද සඳහන් වේ .

මාධ්‍යවේදී චාමර සම්පත් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු කොමිසම විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ලැයිස්තුවක් මුදා හරින ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝගයක් නිකුත් කර ඇත. තොරතුරු කොමිසමේ එම නියෝගය නීතියට පටහැනි වේ. එබැවින් වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කරන ලෙසත්, අදාළ පෙත්සම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම අභියාචනය ලබන 20 වනදා යලි කැද වෙයි.