(අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

 නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසක් වෙනුවෙන් මහනගර සංවර්ධන සැලැස්මක් පිළියෙල කර එය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

එම සැලැස්මෙන් ආවරණය වන ප්‍රදේශය වාණිජ හා සංචාරක කටයුතු පුළුල් කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 ත්‍රිකුණාමලය නගරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ෂණීය  නගරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විනෝදාස්වාද පහසුකම්, නවීන ආපනශාලා, හෝටල්, නගර අලංකරණය හා සනීපාරක්ෂන පහසුකම් මෙන්ම සුපිරි වෙළඳසැල් ද මේ යටතේ වැඩි දියුණු කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන්වේ.