
(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්ත වීසා ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට එරට රජය තීරණය කිරීම හේතුවෙන් එළැඹෙන 15 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන් තායිලන්තයට වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව අහිමි වේ.
එබැවින් එළැඹෙන 15 වැනිදා සිට තායිලන්තයට ගමන් කරන සියලුම ශ්‍රී ලාංකිකයන් තායිලන්තයට පිටත්වීමට පෙර වලංගු වීසා බලපත්‍රයක් ලබාගත යුතු බව මෙරට තායිලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
තායිලන්ත නව වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21 කට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට තිබූ හැකියාව අහිමිවී ඇත.
තායිලන්ත රජය 2024 වසරේ ජූලි මාසයේදී හඳුන්වා දු වීසා ප්‍රතිපත්තිය මගින් රටවල් 93 ක වැසියන්ට දින 60 ක කාලයක් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර ලබාදී තිබිණි. නමුත් නව වීසා ප්‍රතිපත්ති සංශෝධනය මගින් වීසා රහිතව තායිලන්තය ඇතුළු වියහැකි රටවල් ගණන 60 කට සීමා කර ඇති අතර කාලය දින 30 කට සීමා කර ඇත.
මෙම වීසා ප්‍රතිපත්තිය පසුගියදා 31 වැනිදා ගැසට් පත්‍රයක් මගින් එරට කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති අතර එළැඹෙන 15 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
කෙසේ නමුත් එළැඹෙන 14 වැනිදා දක්වා ශ්‍රී ලාංකිකයන් පැරැණි වීසා ක්‍රමය යටතේ දින 60 ක කාලයක් සඳහා තායිලන්තය ඇතුළුවීම සඳහා හැකියාව පවතී.
මේ අතර, තායිලන්තයට ඇතුළුවීම සඳහා වීසා අවශ්‍ය වන ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව තායි ඊ-වීසා ක්‍රමය හරහා වීසා අයැදුම් කළ හැකි බව කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය පසුගිය 4 වැනිදා නිකුත් කළ නව වීසා ක්‍රියාමාර්ග පිළිබඳ නිවේදනයේ සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd