ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද  දැනුම් දී ඇතැයි පැවසේ.තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ධීවරයින් දැනුවත් කර ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවට පැමිණි පළමු කණ්ඩායමේ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනා ගෙන් වැඩිහිටියන් 3 දෙනා ඊයේ (23) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව චෙන්නායි හි  පුසාල් මධ්‍යම සිරගෙදර දවස් 15 කට රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇතැයි පැවැසෙයි. එහිදී මාස 4 බිළිඳා ඔහුගේ මව සමඟ ද අවුරුදු 6 ක දරුවා ඔහුගේ මව සමගද සිටීමට අධිකරණය අවසර දී ඇතැයි ද පැවසේ.

අනිකුත් සරණාගතයින් මන්දපම් කඳවුරේ රඳවා අවශ්‍ය විමසීම් කඳවුර මාර්ගයෙන් සිදු කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලුවා සරණාගතයින් රාමේශ්වරම් සරණාගත කඳවුරේ රඳවලා කඳවුර මාර්ගයෙන් අවශ්‍ය විමසීම් කටයුතු සිදු කරන්න කියලා” යැයි ඉන්දීය නොවන දෙමළ ජනතාවගේ පුනුරුත්ථාපනය සහ සුබ සාධනය පිළිබඳ කොමසාරිස් ජසින්තා ලසරස් මහත්මිය පැවැසුවාය.

රාජ්‍ය නොවන සංවිධානයක් ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සරණාගතයින්ට මානුෂීය හේතුන් මත ඉන්දීය මධ්‍යම රජය විසින් සරණාගත තත්ත්වය ලබා දිය යුතු බවය.

(විමුක්ති එස් රුද්‍රිගු)