මෙරට රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් හත් දෙනා පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමැති ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින්ට විඳින්නට සිදුව ඇති ගැහැට පිළිබඳවත් සලකා බලා ඉන්දු - ලංකා ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා ඇතැයි කියති.

මේ සඳහා විසඳුමක් ලෙස කච්චතිව් දූපත ඉන්දීය ධීවරයින්ට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා ඇතැයි වාර්තාවේ. ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් නව මහ ඇමැතිවරයා ඉන්දීය අගමැතිට ලියූ දෙවැනි ලිපිය මෙයයි. මියගිය මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ද ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කළාය.