(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ඇමැති  තනතුරු නැතුව වාහන පාවිච්චි කරන්නේ නම් කවුරු කවුරුත් ඒවට වගකියන්න වේවි යැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  මොහොමඩ් මරික්කාර් මහතා හිටපු ඇමැතිවරුන්  වාහන ඇතුළු පහසුකම් තවමත් ලබා ගන්නා බවට කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

ඒ ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විධිමත් ආකාරයට ප්‍රශ්නයක් යොමු කළ හැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.

ඇමැතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වී ඇති බවත්  එය ගැසට් නිවේදනයේ පැහැදිලිව  දැක්වෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය.

රජයක් පිහිටුවීමෙන් පසු අසුන් තීරණය කරන බවද ඔහු කීවේය.

මන්ත්‍රී මොහොමඩ් මරික්කාර් මහතා :

හිටපු ඇමැතිවරු තවමත් වරප්‍රසාද ගන්නවා. මේක ප්‍රෝඩාවක්. ඇමැති තනතුරුවලින් ඉවත් වුණා කිව්වට පාර්ලිමේන්තුවේ ආසන වෙනස් කරලත් නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

පාර්ලිමේන්තුවේ ආසන  අවුරුද්දෙන් පස්සේ හදනවා.