ඩෙංගු වසංගතයක් පවතින ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වූ බවත්, ඩෙංගු මරණ පහක් මේ  වසරේ සිදුව ඇති බවත් වසංගත රෝග අංශය කියයි.

දෙසැම්බර් මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 314ක් වාර්තා වීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කිහිපයක ඩෙංගු වසංගත තත්වයකට උත්සන්න වී ඇතැයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පවසයි.

අම්බලන්ගොඩ විලේගොඩ ප්‍රදේශයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත. මෙම ප්‍රදේශය ආශ්‍රිතව අම්බලන්ගොඩ නගර සභාවේ කුණු බැහැර කරන ස්ථානයේ ඩෙංගු මදුරුවන් විශාල වශයෙන් බෝවන බව නිරීක්ෂණය කර ඇත. අදාල පළාත් පාලන ආයතයෙන් මෙම ස්ථානයට ගෙනවිත් දමන කුණු පස් දමා වසා නොදැමීම හේතුවෙන් ප්ලාස්ටික් හා පොළිතීන් වල රැඳෙන වතුරේ ඩෙංගු මදුරුවන් බෝවන බවත් මුහුදු බඩ කළාපයේ අත්හැර දමා ඇති බෝට්ටු වල මදුරු තවාන් දක්නට ලැබෙන බවත්  වෛද්‍යවරයා පවසයි.