(ඩයනා උදයංගනී)

ඉදිරි මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශ හරහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම වසරේ ගත වූ කාලයේදී ඩෙංගු රෝගීන් 25,910ක් වාර්තා වී ඇති අතර මරණ 19ක් ද වාර්තා වී ඇත. ඉදිරියේදී රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙලකට මෙලෙස ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඩෙංගු රෝගය වැළැක්වීමේ සහ පාලන ක්‍රියාකාරකම් පවත්වාගෙනයාම සඳහා සෑම ආයතනයකටම වෙන් වූ නිලධාරියකු පත්කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී කරුණු සමාලෝචනය කර පියවර ගැනීම, ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන පළාත්, දිස්ත්‍රික් සහ වැඩබිම් සම්බන්ධීකරණ කටයුතුවල වගකීම පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරීම, ඩෙංගු රෝගය වැළැක්වීමට අදාළව දැනට පවතින නීති යාවත්කාලීන කිරීම සහ ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන සමස්ත කාර්යයන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත පැවරීම යන කරුණු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙලට ඇතුළත් වී ඇත.