චීනයේ දෙදින නිල සංචාරයක නියැලෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව බෙයිජීං අගනුවර මහජන ශාලාවේදී පැවැත්විණි. 

චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් මෙන්ම චීන රජයෙන් ද ඇමෙරිකන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, චීනයට පැමිණියේ විශේෂ දූත පිරිසක් ද පෙරටු කර ගනිමිනි. ලෝක ප්‍රකට ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීන් ද ට්‍රම්ප් සමග මෙම චීන සංචාරයට එක් වී සිටිති. ඔවුහු සියලු දෙනා ට්‍රම්ප් සමග ට්‍රම්ප්ගේ ‘එයාර් ෆෝස් වන්’ නිල ගුවන් යානයෙන් චීනයට පැමිණියහ. ඒ, ඊයේ (13) රාත්‍රියේය.

ට්‍රම්ප් බිරිඳ මෙලානියා මෙම සංචාරයට සහභාගී වන්නේ නැත. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන්, ට්‍රම්ප් ඇතුළු නියෝජිත පිරිස පිළිගැනීම අද උදෑසන මහජන ශාලාවේ දී සිදුවිය. ට්‍රම්ප් වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.

ට්‍රම්ප් සමඟ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප් රජයේ නියෝජිතයෝ කීප දෙනෙක් ද මෙම චීන සංචාරයට එක් වී සිටිති. ඊට අමතරව, ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්, ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක්, න්විඩා සමාගමේ ප්‍රධානී ජෙන්සන් හුවාන්, ගෝල්ඩ්මන් සැචේස් සමාගමේ ප්‍රධානී ලැරී ෆින්ක්, සහ බෝයිං සමාගමේ ප්‍රධානී කෙලී ඕර්ට්බර්ග් ද සංචාරයට එක් වී සිටිති.

ලෝක බලවතුන් වන ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේත් චීන ජනාධිපති ෂී ජින්පින්ගේත් මෙම හමුව කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වී ඇති අතර, හමුදා උත්තමාචාර මැද, ගාම්භීර පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව, තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා ඉතා සුහදව ඇරැඹිණි. ට්‍රම්ප් පෙන්වා දුන්නේ, ඇමෙරිකාව සහ චීනය එක් වුවහොත්, දිනෙන් දින අර්බුදවලට මුහුණ දෙන ලෝකය නව අනාගතයක් කරා රැගෙන යා හැකි බවය.

ට්‍රම්ප් සහ ජින්පින් අතර මෙම හමුව පැවැත්වෙන්නේ, ඇමෙරිකාව සහ චීනය අතර් වෙළෙඳ යුද්ධයක් පවතින අවස්ථාවකදීය. ට්‍රම්ප් චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් දැඩි ලෙස තීරු බදු පැනවීම් කර ඇත. එම තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්විණි. තීරුබදු මුල්කොට ගනිමින් දෙරට අතර පළුදු වුණු මිතුදම් ශක්තිමත් කර ගැනීම කෙරෙහි ට්‍රම්ප්ගේත්, ජින්පින්ගේත් අවධානය යොමු විය. ට්‍රම්ප්ගේ මෙම චීන සංචාරයේ ප්‍රධාන අරමුණ ද මෙම වෙළෙඳ යුද්ධය සමතයකට පත් කර ගැනීම බව පැවැසෙයි.

ට්‍රම්ප් සහ ජින්පින් අතර සාකච්ඡා පැවැත්වෙද්දී, ට්‍රම්ප් සමග පැමිණි ව්‍යාපාර ප්‍රධානීන්, නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමේ අරමුණින් චීන ව්‍යාපාර ප්‍රජාව සමග සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෘෂිකාර්මික නිෂ්පාදන සහ මගී ගුවන් යානා චීනයට අලෙවි කිරීම ඇතුළු නව වෙළඳ ගිවිසුම් කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමු විය. 

වෙළෙඳ යුද්ධයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ස්ථිර මණ්ඩලයක් පිහිටුවීමට කෙරෙහි තමන් උනන්දු බව ට්‍රම්ප්, චීන ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කළ අතර, චීන ජනාධිපතිවරයාගේ කැමැත්ත ඊට හිමිවිය.

චීන ජනාධිපති ෂී ජින්පින් සිය අදහස් දක්වමින් අවධාරණය කළේ, වර්තමාන ලෝකය වසර සියයකින් නොදුටු දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවය. ඇමෙරිකාව සහ චීනය අතර මත ගැටුම් වළක්වා ගනිමින්, සහයෝගීතාව වර්ධනය කර ගැනීමට පියවර ගනිමු යැයි ෂී ජින්පින් යෝජනා කළේය.

ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම, තායිවානය සම්බන්ධයෙන් පවතින අර්බුද කෙරෙහි ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. තායිවානය යනු චීනයට පහළින් පිහිටි කුඩා දූපතකි. තායිවානයට වෙනම පාලනයක් ඇති නමුත්, චීනය විශ්වාස කරන්නේ එය ඔවුන්ට අයත් කොටසක් කියාය. තායිවානය වෙනත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සබඳතා පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවකි. ඇමෙරිකා රජය සහ තායිවාන රජය අතරේ යහපත් සබඳතා පවතී. තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 11 ක අවි පැකේජයක් ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය කැමැත්ත පළ කර ඇත. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ජින්පින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ ඉරාන අර්බුදය ගැන ද සාකච්ඡා පැවැත්විණි. ඉරානය ඇමෙරිකන් සහ ඊශ්‍රායල හිතවාදී නෞකාවලට හෝමූස් අවහිර කර ඇති අතර, ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාව හෝමූස් පිවිසුම අවහිර කර ඇත්තේ ඉරාන නෞකාවලට ඉරානයේ වරාය වෙත යෑමට නොහැකි ලෙසය. මේ හේතුව නිසා කිසිම නෞකාවකට හෝමූස් හරහා යෑමට හෝ ඒමට නොහැකිය. චීන නෞකා ද මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇත. චීනය ඉරාන හිතවාදියෙකි. චීනය දිගින් දිගටම ඇමෙරිකාවටත් ඉරානයටත් පවසා ඇත්තේ හටගත් අර්බුදකාරී තත්ත්වය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් කඩිනමින් අවසන් කරන ලෙසය.