(විමුක්ති එස් රුද්‍රිගු)

ඒඩන් බොක්කේදී හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ලක්වූ ටෲ කන්ෆිඩන්ස් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක් එම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.

එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ටෲ කන්ෆිඩන්ස් නෞකාවේ ආරක්ෂකයින් ලෙස සේවය කර ඇත. ටෲ කන්ෆිඩන්ස් නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයන් විසි දෙනෙකුගෙන් සහ ආරක්ෂකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය.

මිසයිල ප්‍රහාරය හේතුවෙන් ටෲ කන්ෆිඩන්ස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු මිය ගියේය.එලෙස මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු පිලිපීන ජාතිකයන් වූ අතර ඉතිරි සාමාජිකයා වියට්නාම ජාතිකයෙකු විය.එසේම ප්‍රහාරය හේතුවෙන් තවත් සාමාජිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇත.

මිසයිල ප්‍රහාරයට ලක්වීමත් සමඟ නැවේ ගින්නක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් නැව අත්හැර දැමීමට සිදුව ඇත.

නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන්දියානු යුද නෞකාවක් වූ අයි.එන්.එස් කල්කටා නෞකාව විසින් ඊයේ (06)හෙලිකොප්ටර් සහ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් බේරාගනු ලැබීය.බේරාගැනීමෙන් අනතුරුව තුවාල ලැබූවන් රෝහල් වලට යොමු කළ බව නෞකාවේ මෙහෙයුම් බාර සමාගම ප්‍රකාශ කළේය.තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ සිටින තුවාල කරුවන් සිටින බවද එම සමාගම පැවැසුවේය.