(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමට තමන් විරුද්ධ වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී රජයේ නීතිඥ නාවින්ද ද වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජීවන්ත පීරිස් පියතුමා ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.

මෙම පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සැලකිල්ලට ගැනිනි.

පෙත්සම්කරු දැනටමත් අධිකරණ නියෝගයකට යටත් කර ඇති බවත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කරු මේ වන විට සැඟවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලන අධිකරණය නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ තම සේවදායකයා කිසිදු අයුරකින් නීතිවිරෝදී කටයුත්තක් සිදු නොකළ බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන සලසා දෙන ලෙසත් ය.

මෙම පෙත්සම  සැප්තැම්බර් මස 01 වැනිදා  කැදවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)