
(සුජිත් හේවාජුලිගේ )
රුපියල් කෝටියකට වැඩි වටිනා ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන හිටපු සහ දැනට සිටින මැති ඇමැතිවරුන් 48 දෙනාට එරෙහිව නඩු පවරන ලෙස ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම මණ්ඩලයේ නීති අංශයට උපදෙස්දී ඇත.
මේ අනුව එම නීති අංශය නඩු පැවරීම් සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
එම හිඟ මුදල් අය කර ගැනීමට නීති අංශය හිටපු සහ දැනට සිටින මැතිඇමැතිවරුන්ට අවසාන නිවේදන මෙයට පෙර නිකුත් කළේය.
අවසාන නිවේදන යැවීමෙන් පසු මැති ඇමැතිවරුන් පස්දෙනෙකු පසුගිය දිනවල හිඟ මුදල් ගෙවා ඇතැයි වාර්තා වේ.
මෙසේ ජල බිල්පත් ගෙවා නැති හිටපු සහ දැනට සිටින මැති ඇමැතිවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද සිටිති.
මින් වැඩි පිරිසක් හිටපු මැති ඇමැතිවරුන් බව පැවසෙයි.
ඔවුන් මෙසේ ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ සිය නිල නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් නිකුත් කෙරුණු බිල්පත්වල සඳහන් හිඟ මුදල්ය.
මේ මුදල් වහාම ගෙවන්නැයි සිහිකැදවීම් ගණනාවක් කර ඇතත් සාර්ථක ප්‍රතිචාර ලැබී නැති බවත් සිය නිල නිවාසවලදී පෞද්ගලිකව පරිහරණය කළ ජලය වෙනුවෙන් මුදල් ගෙවීමට හැකියාවක් නැති බව සඳහන් කරමින් ඔවුන් කටයුතු කළ සහ දැනට කරන අදාල අමාත්‍යාංශද එම හිඟ බිල්පත් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ජල සම්පත් මණ්ඩලය පවසයි.
සාමාන්‍ය ජනතාවගෙන් හිඟ බිල්පත් අයකර ගැනීමට පෙර හිටපු සහ දැනට සිටින මැති ඇමතිවරුන්ගෙන් එම හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස වාසුදේව නානායක්කාර මහතා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුදානවා ඊට පස්සේ, නිදොස් කොට නිදහස් නැත්නම් පැමිණ්ල්ලේ තාක්ෂණික දෝෂ නිසා ඉල්ලා අස්කරගන්න. එහෙමත් නැතිනම් පැමිණිල්ලේ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නැති නිසා චූදිත නිදහස්. ඔන්න ඕකයි ලංකාවේ ඔයවගේ නඩුවලට ක්‍රමවේදය...
සියල්ලටම සිහි කැඳවමින් සාමාන්‍ය අපිට විසන්ධි කිරීම්.. නඩු දැම්මට වැඩක් නැහැ. නිදොස් කොට නිදහස් කරයි. ඉන්පසු හිඟමුදලත් බොල් ණයක් කරයි. අපේ පොකට් එකෙන්ම ගෙවන්න.
නම් ගම් හෙළිකළා නම් නේද හොඳ?