(ඩයනා උදයංගනී)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නවීකරණය කෙරුණු ශ්‍රී සුමංගල ශ්‍රවණාගාරය අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

මෙම විවෘත කිරීම සිදුවූයේ එම විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථියකු වන, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය, ජපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සංගමයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙනි.

ලෝක බැංකු ආධාර මත, ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ සංවර්ධනය වේගවත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ශ්‍රවණාගාරය නවීකරණය කෙරිණි.

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් ව්‍යවසායකත්ව ඒකකය සඳහා ඉදිකළ නව පරිශ්‍රය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කාපට් යොදා නවීකරණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මාර්ග පද්ධතිය ද මෙහිදී විවෘත කෙරිණි.

එම විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථියකු වන අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව සිටියත්, ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරුවීම නිසා උත්සවයට සහභාගීවීමට නොහැකි වූ අතර, ඔහු සූම් තාක්‍ෂණය ඔස්සේ උක්සව සභාව ඇමතීය.

මෙම විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සංස්කෘතික කමිටුව සංවිධානය කරන රජගල පුරා විද්‍යා ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සංවාද මණ්ඩපයක් ද ශ්‍රී සුමංගල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  සුදන්ත ලියනගේ, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ )