පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේට නුදුරේදීම සිය ධූරයෙන් ඉවත්වන්නට සිදුවෙතැයි දේශපාලන ආරංචි කියයි.

ලබන මාසයේ මුලදී අලුත් පුද්ගලයකු එම තනතුරට පත්කිරීමට නියමිත බව වාර්තාවේ. පසුගිය සතියේ දිනක බෝපගේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි කියති. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වන කරුණක් සඳහා ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබූ අතර එහිදී ඔහු පැවසූ තොරතුරු හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවත් කියති.

ජ්‍යෙතිර්වේදීන් සම්බන්ධ කරගනිමින් වැදගත් නොවන කරුණක් උදෙසා මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ බොහෝ පිරිසක් උරණව සිටින බවද වාර්තාවේ. මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන් වන ලියකියවිලිවලට අත්සන් නොකිරීමක් ගැනද එහිදී කියැවිණි. එයටද බොහෝ පිරිසක් බෝපගේට එරෙහිව අවි අමෝරා සිටිති.

මීට පෙර බෝපගේ එම තනතුරට පත්වූ විගසම ඇදගෙන නාගත් බව බොහෝ දෙනෙක් කියති. ඊට හේතුව වචනයක් අල්ලාගෙන මාධ්‍ය හරහා ඔහු ජනප්‍රියවීමට තැත් දැරීම බව බොහෝ දෙනාගේ අදහසවී තිබේ.