
(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජාතිය හමුවේ පවතින ප්‍රමුඛතම වගකීමක් වන විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කරන ලෙස සියලු ආගමික නායකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම, ආගමික සමුළුව අමතමිනි.
ජාති, ආගම් සහ වයස් බේදයකින් තොරව දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාත්, සමාජයේ ගෞරවයට සහ වන්දනාවට ලක්වූ ආගමික සංස්ථාවන්ද ඇතුළුව රටේ සියලු ස්ථර වෙතත් විෂ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වී ඇති ආකාරය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යසනය පරාජයට පත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන පුළුල් වැඩපිළිවෙළද පැහැදිලි කළේය.
“රටම එකට” ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා:-
පසුගිය වසරේ මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම වසර ඇතුළත අප අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 438,330ක් වෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය සඳහා 2022 වසරේදී අවුරුදු 18ට වඩා අඩු තරුණයින්ගෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒක තරුණයයි. හැබැයි 2025 වසර වන විට අපි 1874ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම අවුරුදු 21 වැඩි තරුණයින් 11,737ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඇතුළේ අවුරුදු 21-18ත් අතර තරුණයින් 10,889ක් සිටිනවා. ඒ වගේම වයස අවුරුදු 18-14 අතර දරුවන් 1068ක් සිටිනවා. අවුරුදු 05-14ත් අතර වයසේ දරුවන් 13දෙනෙක් සිටිනවා. ඒ කියන්නේ අපේ ළමා ලපටින් පවා මෙහිදි ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් දෙසීය ගණනක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මේ ව්‍යසනය අපේ මුළු තරුණ පරම්පරාවම, අපේ අනාගතයම ව්‍යසනයට පත් කරමින් තිබෙනවා. රට සහ ජාතිය පිළිබද ආදරයක් සහ ඇල්ලමක්, තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබද බලාපොරොත්තුවක් තිබෙන අපිට මේ හමුවේ නිහඩව සිටීමේ හැකියාවක් නැහැ. අපි හමුවේ තිබෙන දේ වන්නේ මෙය පරාජය කිරීමයි.
මෙම ව්‍යසනයේ ප්‍රමාණය මේ සියලු දත්තවලින් පෙන්නුම් කරනවා. එපමණක් නොවෙයි, අපි මේ වසර තුළ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15,282ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අයිස් කිලෝග්‍රෑම් 6,528ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 4,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසනද හෙරෝයින් සහ අයිස් කිලෝග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,598ක්, හෂීස් කිලෝග්‍රෑම් 1,841ක්, කොකේන් කිලෝග්‍රෑම් 314ක්, මත්පෙති සහ කරල් මිලියන 4.5කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් බිලියන 218ක් වෙනවා. ගංජා ද එකතු කළ විට රුපියල් බිලියන 224ක් වෙනවා. එනම් රුපියල් කෝටි 21,800ක්. මේ වසරක මත්ද්‍රව්‍ය වෙළඳපොළ. අත්අඩංගුවට නොගත් ප්‍රමාණයද සලකා බැලූ විට කෙතරම් මහා පරිමාණ විනාශයක් සිදු වන්නේදැයි පැහැදිලි වෙනවා.
"මේ කෝටි 22,000ක මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විශාල ශක්තිමත් ජාලයක් නිර්මාණය වී තිබෙනවා. මෙම ජාලය බිඳනොදමා මත්ද්‍රව්‍ය අපගේ රටෙන් ඉවත් කරන්න බැහැ. මෙම මහා විශාල ධනස්කන්ධය නිසා රාජ්‍ය නිලධාරීන්, රේගු දෙපාර්තමේන්තුවේ සමහර අය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අය, ආගමන විගමන නිලධාරීන්, පොලිසියේ සමහර නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් පවා මිලදී ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන කුඩු ජාවාරම්කරුවන් පළාත් පාලන ආයතනවල සභාපති ධූරවලට සහ නියෝජිතයන් බවට පවා පත් වීමේ හැකියාව ලබා ගත්තා. මෙම මත්ද්‍රව්‍යයෙන් උපයා ගන්න මහාධනස්කන්ධය සමග දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමට පටන් ගත්තා.
අද මෙම ව්‍යසනය මුළු සමාජයම ගිලගනිමින් තිබෙනවා. තවදුරටත් ගරු කටයුතු කිසිදු ස්ථානයක් ඉතිරි වන්නේ නැහැ. වැඳ නමස්කාරයට සහ ගෞරවයට බඳුන්වන ආගමික සංස්ථාවන් තුළට මේ ව්‍යසනය ගලායමින් තිබෙනවා. වසර දෙදහස් ගණනක් මුළුල්ලේ ජන සමාජය ගොඩනැගීමේදී දෙපා ගෙවෙනකම් ගම් නියම්ගම් කරා වැඩම කළ අපේ මහා සංඝරත්න සහ සංඝ සමාජය වෙතත් අඩුවැඩි වශයෙන් මෙය ගලාගෙන ගොස් තිබෙනවා. අනෙකුත් ආගමික සංස්ථාවන් වෙතද මෙය ව්‍යාප්ත වී තිබෙනවා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන මේ සියල්ල මීට ගොදුරු වී තිබෙනවා.
අපට මතුපිටින් පෙනෙන රාජ්‍ය යන්ත්‍රණය වෙනුවට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන කළු රාජ්‍ය යන්ත්‍රණයක්' නිර්මාණය වී තිබෙනවා. මෙය තවදුරටත් වර්ධනය වුණොත් ගෞරවයට පාත්‍ර වුණු සමාජය බලාපොරොත්තුවලින් ඉන්න සමාජය විධිමත්භාවයට ගේන මේ සියලු යාන්ත්‍රණ තවදුරටත් වළංගු නැති යාන්ත්‍රණ බවට පත් වෙනවා. ඔවුන් උපයාගන්නා මහා කළු ධනයෙන් ඔවුන්ට හැකියාව ලැබෙනවා මේ සියල්ල තමන්ගේ අතට ගන්න. එහෙනම් මා කියනවා නැවතත් අපිට පාරවල් දෙකක් තියෙනවා.
ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කළු රාජ්‍යයේ ඉන්න, අපි අපිට පැවරී තිබෙන රාජ්‍යයේ වැඩ කරගෙන ඉන්නවා. එහෙම තමයි ගොඩක් අය හිටියේ. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට තීරණය අරන් තිබෙනවා, අප මේ කළු රාජ්‍යය පරාජයට පත් කරනවා, මේක බිඳ වට්ටනවා. මත්ද්‍රව්‍ය හා බැඳුනු කළු රාජ්‍යය බිඳ වැට්ටීමකින් තොරව අපේ දරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් නැහැ. අපේ දෙමව්පියන් මොනතරම් බලාපොරොත්තුවකින් තමන්ගේ දරුවන් හදනවද. අපේ දෙමව්පියන් තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ දරුවන් වෙනුවෙන් වැය කරනවා - දරුවන්ට හොඳ ජීවිතයක් වෙනුවෙන්, දරුවන්ට හොඳ අනාගතයක් වෙනුවෙන්, දරුවන්ට හොඳ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන්. දෙමව්පියන් කොච්චර වෙහෙස වෙනවද. මම හිතන්නේ ලෝකයේ කිසිදු අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් මෙතරම් වෙහෙස වෙන්නේ නැහැ.
තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් වෙනුවෙන් "වෙහෙස වෙන දෙමව්පියන් ඉන්න රටක, දෙමව්පියන්ගේ ඇස් ඉදිරිපිට දැන් තිබෙනවා ඒ දරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් තිබෙනවද? කියන කාරණය. මම දන්නවා දෙමව්පියන් විශාල ප්‍රමාණයකින් මේ ඇතිවී තිබෙන ව්‍යසනය හමුවේ අසරණභාවයට පත් වෙලා තිබෙනවා. මුළු සමාජයකම මේ ව්‍යසනය මහා රාක්ෂයෙකු ලෙස පැතිරෙමින් තිබෙනවා. ඒ හා බැඳුනු මත්ද්‍රව්‍ය ජාලයත්, ඒ හා බැඳුණු අපරාධ යාන්ත්‍රණයත් බිඳ වැට්ටිය යුතුයි. අපි 'රටම එකට' වැඩසටහන ඇතුළේ එම අපරාධ රාජ්‍යය බිඳ වැට්ටීම සඳහා සැලසුම් සකස් කළා. ඒ අනුව මේ මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාව තුළ අත්අඩංගුවට ගන්නත්, ලංකාවෙන් බැහැරව ගියපු අයත් අපිට ගෙන්වා ගැනීමටත් හැකියාව ලැබුණා.
"මේ වසර ඇතුළත විවිධ නාමයන්ගෙන් පටබැඳුණු අය, විවිධ ගම් නගර බියපත් කරගෙන හිටපු අය අපි අත්අඩංගුවට ගත්තා. පිටරට හිටපු 67 දෙනෙක් අපි ලංකාවට ගෙන්නුවා. තවත් අපි ඉදිරියේදී ලෝකයේ කොහේ සැඟවිලා සිටියත්, අපේ රටේ මත්ද්‍රව්‍ය වෙළඳාම නිසා සංවිධානාත්මක අපරාධවල යෙදෙනවා නම්, ලෝකයේ කොතනක හිටියත් ඔවුන්ට අපි කියනවා 'ඔබ අනාරක්ෂිතයි, කොහේ හිටියත් කියලා. ඒ වගේම අපි 112 දෙනෙකුට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා, ඔවුන්ගේ මිලියන 4500ක දේපල තහනම් කර තිබෙනවා.
"මත්ද්‍රව්‍ය හරහා උපයාගන්නා ලද දේපළ මිලියන 4500ක දේපළ අපි අත්හිටුවාගෙන තිබෙනවා. මේ අවුරුද්ද ඇතුළත T56 ස්වයංක්‍රීය ගිනිඅවි 97ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමහර විට පොලිසියකටත් එච්චර ප්‍රමාණවත් නැහැ, මේ ගිනිඅවි සමහර ඒවා අපේ හමුදාවලින් එළියට ඇවිල්ලා තියෙනවා, ඒවා අපිට ඔඩිට් වාර්තාවලින් එළිදරව් වී තිබෙනවා. මේ ගිනිඅවි සමහර අවස්ථාවල අපිට වාර්තා වුණා පොලිස් නිලධාරී මහත්තයෙක් ගිනිඅවිය විකුණලා පැනලා යනවා. ගිනිඅවි එළියට ඇවිල්ලා තිබුණා. පිස්තෝල 143ක්, ඒකේ 47 අවියක්, රිවෝල්වර 105ක්. මේක තමයි අපරාධ රාජ්‍යය සතුව තිබෙන ගිනිඅවි ප්‍රමාණය. තවත් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
නියංගොඩ විජිතසිරි මල්වතු අනු නා හිමි,නාරම්පරාවේ ආනන්ද අස්ගිරි අනුනා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලි හිමි,වලේබොඩ ගුණසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනා හිමි ප්රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, හැරල් ඇන්තනී පෙරේරා රදගුරුතුමා ප්රමුඛ කතෝලික පූජකතුමන්ලා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා ඇතුළු හින්දු කුරුක්කල්තුමන්ලා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු මවුලවිතුමන්ලාද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි යන මහත්වරු ඇතුළු කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින්ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ද, කලාකරුවන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන් සහ මත්ද්‍රව්‍ය විරෝධි සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd