(රෝෂන් තුෂාර)

අභියාචනාධීකරන හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ යෝජිත සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් ඇති කරන බවත්, පවතින තත්ත්වය යටතේ යෝජිත සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු බවත් ජනාධිපතිවරයා හා සමඟ පැවති සාකච්ඡාවේදී අවධාරණය කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස හැරුන කොට රජයේ අවධානය යොමු කළ යුතු තවත් හදිසි කරුණු කිහිපයක් ඇති බවය එම අනෙකුත් කරුණු සඳහා රජය ප්‍රමුඛත්වය දිය යුතු බව නීතිඥ සංගමය ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දුන් බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර සහ ජනාධිපති නීති උපදේශක ජේ.එම්. විජේබණ්ඩාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවී මෙම අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නොවේදනයේ මෙසේද සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, නියෝජ්‍ය ජනාධිපති නීතිඥ සභාපති රියන්සි අර්සකුලරත්න ලේකම් නලින් ද සිල්වා,භාණ්ඩාගාරික පසිඳු සිල්වා ,හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා,මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ජේෂ්ඨ සාමාජික ලාල් විජේනායක ජනාධිපති නීතිඥ මහින්ද විජේසුරේන්ද්‍ර ජනාධිපති නීතිඥ,ටී. ජයනාග,ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥ,සරත්චන්ද්‍ර ප්‍රාදේශීය සභාපතිවරුන් වන උපාලි මොහොට්ටි, පී.සී.සඳුන් නාගහවත්ත ,ඒ.එල්. නතීර්,චන්දිම විජේරත්න ,රුවන් ආසිරි ද සිල්වා ,සුනිල් වීරකෝන් ,යාපනය නීතිඥ සංගමය සභාපති බී. තවපාලන් හා ජේෂ්ඨ සාමාජික නාලනි සීසන්ස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ අතර තවත් පිරිස් සහභාගී වීමට නියමිතව තිබුණද ඉඩකඩ මද බැවින් සාමාජික සංඛ්‍යාව සීමිත කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය ඉල්ලීම් කර තිබිණි.

අධිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රමුඛ පියවරක් නොවන යෝජිත ව්‍යස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන්නක් බව සංගමයේ ස්ථාවරය වේ. ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමේ එම හේතු නියෝජිත පිරිස ජනාධිපතිතුමා ඉදිරියේ පැහැදිලි කළහ.

අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සහ යෝජිත සංශෝධනය ප්‍රමුඛතාවයක් ලෙස සැලකීමේ අවශ්‍යතාවයක් නොමැතිකම සැලකිල්ලට ගනිමින්, මෙම අවස්ථාවේදී රජය යෝජිත සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු බව නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිතුමාට අවධාරණය කළේය.

සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා, උප සභාපති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහතා,හිටපු සභාපති ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා , හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා මෙහිදී අදහස් පළ කළේය.

නීතිය පිළිබඳ සියලු අත්දැකීම් ඇති මහාචාර්ය සවිත්‍රි ගුණසේකර විසින් මෙම සංශෝධනය මගින් සිදුවිය හැකි අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම, බලතල බෙදීමේ සංකල්පීය පදනමෙන් ආරම්භ වී, අධිකරණයේ ස්වාධීනත්වයේ අත්‍යවශ්‍යතාවය සහ අධිකරණයට සෑම විටම මහජන විශ්වාසයක් තිබීමේ අවශ්‍යතාවය මනාව පැහැදිලි කළාය.

රාජ්‍ය අංශයේ සේවා කාලය දීර්ඝ කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් කුළුණක් වන විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අතර වෙනස ද ඇය පෙන්වා දුන්නාය.

 ජනාධිපතිතුමා, මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළේය.

රජය තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීමට පෙර, නීති වෘත්තිය, විනිසුරුවන්, ශාස්ත්‍රඥයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් නිසි හා අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවට සංගමයේ නියෝජිත පිරිස යෝජනා කළහ.

එවැනි උපදේශන ක්‍රියාවලියක කොටසක් ලෙස මෙම කාරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට යොමු කර සලකා බැලිය හැකි බවට ද යෝජනා විය.