‘දුම්කොළ සමාගමට 90%ක බද්දක් පැනවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. දැන් මාස එක හමාරක් පමණ එය තැන් තැන්වල නළියනවා. මම සෞඛ්‍ය ඇමැති කාලේ සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද දෙන්න ගිහින් සිගරට් කොම්පැනිය එදා මගෙන් නිදහසට කරුණු ඇහුවා. ඒ එදා අරලියගහ මන්දිරයේදි‘ යැයි කී මෛත්‍රිපාල සිරිසේන ජනපති මහරගම තරුණ සේවා සභාවේදී කියා සිටියේ මේ බව තමා රටටම පවසන බවයි.

එය පමා කරන අයත් කවුදැයි තමා දන්නා බවද ජනපති කීවේය.

‘දුම්කොළ සමාගම්වල අභියෝග වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මද්‍යසාර හදන නීත්‍යානුකූල අසීලාචාර ව්‍යාපාරිකයන්ට අපි මේ ආණ්ඩුව තුළත් මුහුණ දෙනවා. මේ වසරේ පැවැත්වූ ලෝක දුම්කොළ විරෝධී දිනයේ දී අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉතාම කෙටි දේශනයක් කළා. ඔහු පැවසුවා ‘ජනපතිතුමනි ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඊයේ පෙරේදා බදු සංශෝධනයක් කළා. නමුත් ඒ බදු සංශෝධනයේ දී සිගරට් සමාගම්වල බද්ද දැන හෝ නොදැන අඩු කරලා තියෙනවා.‘ කියලා. මම කිව්වා ‘මේ කියනකම් මම දන්නේ නැහැ. මම දැන් මේ රැස්වීම ඉවර කරලා යන්නේ කැබිනට් මණ්ඩලයට. මම ගිය ගමන් යෝජනා කරනවා එවැනි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා නම් වහාම සිගරට් සමාගම් වලින් අය කරන බද්ද වැඩි කළ යුතුයි‘ කියලා. අඩු කිරීම නෙවෙයි තිබෙන තත්ත්වයෙන් වැඩි කළ යුතුයි කියලා. ඒ වගේම මම එදා කැබිනට් මණ්ඩලයේ දී මේ ප්‍රශ්නය කතා කළා. මම මුදල් ඇමැතිට කිව්වා එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් කිසිසේත් තියෙන තැනින් අඩු කරන්න බැහැ තිබෙන තැනින් බදු වැඩි කිරීමයි අවශ්‍ය වෙන්නේ කියලා.‘ යැයිද ජනපති එහිදී කීය.

DSC_1187 DSC_1215 DSC_1229 DSC_1233