
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ සිටී.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ආගමික සබඳතා සිහිපත් කරමින් මෙහිදී ජනාධිපතිවරයා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වූහ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.
දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් හුවමාරු කර ගැනීමද මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd