(අංජුල මහික වීරරත්න)

2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම අයදුම්පත් කැඳවීම සිදුකරන අතර 2021 නොවැම්බර් මස 24 දිනැති 2255/24 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගෝපදේශ අනුව පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා පුරවැසියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වීම, නීති ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහ ඉහළ වෘත්තීය විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ අයෙකු වීම,ශ්‍රී ලංකාව තුළ  නීතියේ උන්නතිය සහ නීති විෂයෙහි විශේෂඥයෙකු ලෙස සුවිශේෂී සහ විශිෂ්ට දායකත්වයක් ලබා දීම,ශ්‍රී ලංකාව තුළදී  හෝ විදේශයකදී නීතිය පිළිබඳ විශේෂ හැකියාවක් පිළිඹිඹු කිරීම,යහපත් චරිතයකින් සහ කීර්තිනාමයකින් යුක්ත වීම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ අයෙකු වීම,නීතියේ ආධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන හෝ බිඳ හෙළන කිසිදු ක්‍රියාවක නිරත වී නොතිබීම,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විනය නියෝගයකට ලක්කර නොමැති, අධිකරණයක් විසින් වෘත්තීමය විෂමාචාරයක් හෝ අකටයුත්තක් සඳහා වරදකරු කර නොමැති අයෙකු වීම,අවම වශයෙන් අවුරුදු පහක කාලයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ගෙවන්නෙකු වශයෙන් ලියාපදංචි වී ඇති පුද්ගලයෙකු වීම නීතිය සහ නීති පද්ධති පිළිබඳ ග්‍රන්ථ, ලේඛන ප්‍රසිද්ධ කර තිබීම, ජාතික හෝ ජාත්‍යන්තර සමුළු සඳහා පත්‍රිකා ඉදිරිපත් කර තිබීම, ජාතික හෝ ජාත්‍යන්තරව පිළිගත් ආයතන මගින් නීතිය පිළිබඳ වැඩිදුර හදාරා තිබීම, පිළිගත් උසස් අධ්‍යාපන ආයතන තුළ නීති විෂය උගන්වා තිබීම ජනාධිපති නීතිඥවරුන් පත්කිරිමේ දී අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

 

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා වන අතර වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්නැයි ජනාධිපති කාර්යාලය පවසයි.