සිංහරාජ වනාන්තරයේ මළ හා නොමළ කෘමීන් සන්තකයේ තබාගත් බව කියන නෙදර්ලන්ත ජාතිකයාට එරෙහිව ලබන මස 27 වැනි දාට පැමිණිලි ගොනුකරන ලෙස වනජිවි දෙපාර්තමේන්තුවට නියෝග කළ කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරු 27 දක්වා රිමාන්ඞ් කෙළේය.  ඔහු එදින රත්නපුර උසාවියට ඉදිරිපත් කරනු ඇත. නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58) ඔහුය. පසුගිය අපේ‍්‍රල් 05 දා සිංහරාජ වනාන්තරයෙදී මැරුණු තණකොළ පෙත්තකුගේ සිරුරක් වීදුරු නලයකට දාගන්නවා ඔහුට මග පෙන්නු මාර්ගෝපදේශකයා දැක එසේ නොකරන ලෙස අවවාද කැර ඇත.  ඔහු නැවති සිටි හෝටලයේ කාමරය පරික්‍ෂා කිරිමේදී සිංහරාජයටම ආවේනිකවු ඒක දේශික කෘමින් ඇතුළු කෘමිවර්ග ගණනාවක් පොලිතින් කවරවල, වීදුරු භාජනවල සහ වීදුරු නලවල දමා තිබී හමුවිය. ඔහු නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු විය හැකි බවට වනජිවී නිලධාරිහු සැක පළකරති. ඔහු සිටි හෝටලයේ කාමරයේ තිබී අත්අඩංගුවට ගත් ඞී.එන්.ඒ. පරික්‍ෂණ සදහා රුධිර සාම්පල් ලබාගන්නා වෑල් 114ක්ද, පරික්‍ෂණාගාර නළ 109ක්ද, මියගිය සතුන් කල්තබා ගැනීමට භාවිතා කරන මධ්‍යසාර, අත් කාච, අත්වැසුම්, අල්පෙනෙති, කැලෑ කහරැල්ලන්, සමනල සහ මකුළු බිත්තර, තණකොළපෙත්තන්, කැලෑ හුනන්, කැලෑ කැරපොත්තන්, මකුළුවන් ඇතුලූ කෘමි සත්තු නිර්දේශක දාහතරක් ද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වනජිවි දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ ප‍්‍රධානී ආර්.ඒ.ඞී.ඞී. සමරනායක සහ සිංහරාජ වනසත්ව ආරක්‍ෂක බී.එස්. සුමනරත්න, යන මහත්වරු පැමිණිල්ල මෙහෙයැ වූහ.