(බී.ජී.චතුරංග)

අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුයුක්තව සේවයේ නිරත වූ ආරක්ෂක නියාමකවරයකු බව පොලීසිය කියයි.

විරෝධතාකරු ජේතවනාරාම දාගැබේ ගර්භයේ ඉහළ කොටසේ හතරැස් කොටුවට අසලට නැග විරෝධතාවයේ නිරත විය.

චෛත්‍ය ගර්භයට නැඟ විරෝධතාවේ නිරත වූ අමරසේන අප්පුහාමිලාගේ මහින්ද කුමාර යන අය මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"පවතින රජයට සහයෝගය ලබා දී හෝ දේශපාලන භේදයකින් තොරව පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා සියලු දෙනා එක්ව මේ අවස්ථාවේදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වනවා.

රට පුරා පවත්වනු ලබන උද්ඝෝෂණ සහ කැරලි නැවැත්වීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. මේවායින් සිද්ධ වෙන්නේ තවත් රට ආගාධයට වැටීමයි. මේ සම්බන්ධයෙන් බලධාරීන් මැදිහත් නොවුණ හොත් ඉදිරියේදී දිවි පරදුවට තබා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මා කටයුතු කරනවා."

විරෝධතාවය පැවති මෙම ස්ථානයට ජේතවනාරාම විහාරාධිකාරී  ඉහළහල්මිල්ලෑවේ රතනපාල නායක හිමියන් ද වැඩම කළ අතර, විරෝධතාවයේ යෙදෙන පුද්ගලයාට හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කරන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.