(ටී.කේ.ජී.කපිල )

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින " ජාකොබ් පුතා" බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු , මෙම පුවත සැළවීමත් සමග මාළදිවයින වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව , පළගතුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

   මොහු  ඊයේ (25 ) රාත්‍රී 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව යාමට සූදානම් වී තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන යානයට පිවිසීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් යානයට පිවිසෙන අවසාන ආරක්ෂක කවුළුව වෙත පැමිණ තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයා මේ වනවිට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ .