(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්  සිල්වා මහතා අතර හමුවක්  පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.

මෙහි දී, පසුගිය ඔක්තෝබර් 29 වැනිදා චීනයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරයේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

 එම තීරණ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ හා දැඩි පක්ෂ ස්වයං විනය අඛණ්ඩව පවත්වාගෙන යාම හා පක්ෂය ගොඩනැගීමට අදාළ කරුණු පිළිබඳව චීන තානාපතිවරයා විසින් පැහැදිලි කරන ලදී.   

එම කරුණු පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවත්, එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඒ සම්බන්ධව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කෙරිණි.   

තවද, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.  

ආයෝජන, තාක්ෂණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, වෛද්‍ය ක්ෂේත්‍රය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව ඉදිරියේදී තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.   

මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ උපදේශක මේයි ජිං (Mei Jing), දේශපාලන අංශ ප්‍රධානී චින් ලිගොං (Qin Ligong), දෙවන ලේකම් ජින් එන්සේ (Jin Enze) සහ නිලධාරිනී ලී ජියානි (Li Jiani) මහත්ම මහත්මීහු සහභාගී වූහ.