( අමිල සම්පත් ශ්‍රී)

තෙදිනක් තිස්සේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ දෙබර වැව පිහිටි නිවස  වටලා අද  (04) දහවල්  තිස්සමහාරාම ප්‍රදේශයේ තරුණයෝ  උද්ඝෝෂණය කළහ.

ගෝඨාභය ජනපති සහ රාජපක්ෂ පවුලට ගෙදර යන බලකරමින්  ඔවුහු එලෙස විරෝධය පෑහ.

මෙහිදී  උද්ඝෝෂකයෝ  චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිවසට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූහ.

අමාත්‍යවරයාගේ නිවස අසලට දැඩිපොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර ප්‍රදේශය පොලිසිය ස්ථාන හතරකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මෙන්ම කැරලි මර්දනය නිලධාරීන්ද කැඳවීමට කටයුතු කර තිබුණේය.

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ යොදා තිබූ මාර්ග බාදකය ඉවත් කරගෙන නිවස කරා ඇතුළුවීමට විරෝධතාකරුවෝ උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු කටයුතු කළහ.

පසුව විරෝධතාකරුවෝ මාර්ග බාධක ආසන්නයේ සිට විරෝධතාවයේ යෙදී සිටි අතර මාර්ග බාධක උඩට නැගී විරෝධතාවේ නියැලුණහ.

දෙබරවැව යකඩ පාලම ආසන්නයේ  අමාත්‍යවරයාගේ නිවස ඇතුළු වන මාර්ග 5 ක් සඳහා පොලිස් නිලධාරීන් 30 කට ආසන්න ප්‍රමාණයක් දින තුනක් පුරාවට රාජකාරිය යොදවා තිබූ අතර අද (04)  එම ආරක්ෂාව තවත් වැඩි කිරීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය