(යොහාන් භාසුර)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවිටක දේශපාලන වශයෙන් මැදිහත් නොවන බවත් එම සිද්ධිය පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් පැවැත්වෙනු ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය.

එවැනි සිද්ධීන් පිළිබඳව නියමිත යන්ත්‍රණය පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යවේදියෙක්ට විරුද්ධව හෝ වෙනත් කිසිවෙක්ට විරුද්ධව හෝ නියම ක්‍රමවේදය ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ පැහැදිළිව අන්තර්ගත වෙලා තිබීම නිසා දේශපාලන බලපෑමකින් තොරව ඒවා ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

රට තුළ කිසිඳු මාධ්‍ය මර්ධනයක් නොමැති බව පත්තර සහ රූපවාහිනිය ඔස්සේ රජයට විරුද්ධව කරන විවේචන ප්‍රමාණයෙන් පැහැදිළි වන බවත් රජයේ හොඳ සියයට 10 ක් කියනවා නම් ඉතිරි සියයට 90 විවේචන බවත් අමාත්‍යවරයා කීය.  

අනුරාධපුරයේ පන්සල් කීපකට පසුගියදා ගිය අවස්ථාවේදී මිරිසවැටිය, ජයන්ති විහාරය ඇතුළු විහාරස්ථාන කීපයක ස්වාමීන්වහන්සේලා එම විවේචන පිළිබඳව අදහස් ප්‍රකාශ කළ බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එම නිසා මාධ්‍ය ආණ්ඩුව පැත්තට කටයුතු කරන්නේ යැයි කිසිවෙක්ට හේතුව සහිතව චෝදනා කළ නොහැකි බවත්ය.

ජීනිවා හෝ ඕනම තැන ඕනෑම කෙනෙක්ට පෙන්නන්න පැමිණිළි කිරීම රජයට ප්‍රශ්නයක් නොවන බවත් මාධ්‍ය නිදහස ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවශ්‍යම ලක්‍ෂණයක් බවත් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

නීතිපතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥායන් කැඳවලා අහවලා පිටිපස පන්නන්න, මේ විමර්ශනය කරන්න යැයි නියෝග දීමට වර්තමාන ආණ්ඩුවට සම්ප්‍රදායක් කිසිදිනක නොතිබුණු බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු සාක්‍ෂි තිබුණත් කමක් නෑ නැතත් කමක් නෑ අපි ඕන මොකක් හරි කරලා හරි නඩුව උසාවියට ගේන්න යැයි  එවකට පවසා ඇති බවත්ය.