(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් පිරවුම් සහ බෙදාහැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් සිදුකරමින් යථා තත්වයට පත්කර ඇති බවත් ගෘහස්ථ සහ වාණිජ වෙළෙඳපොළ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග එම සමාගස සතුව ඇති බවත් එම සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන අංශය අද (10) පැවසීය.

එම සමාගම පසුගිය දින දෙක තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000 ක් වෙළෙඳපොළට සපයා ඇති බවත් දිනකට සිලින්ඩර 90,000 - 100,000 ක අතර උපරිමයක් දක්වා ලබාදීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම සමාගම කියයි.

පාරිභෝගිකයන් සතු අමතර ගෑස් සිලින්ඩරවලට ගෑස් ලබාගැනීමට යොමුවීමෙන් අධික ඉල්ලීමක් නිර්මාණය වී ඇති බවත් නියමිත මිල යටතේ දෛනික අවශ්‍යතා සඳහා පමණක් ගෑස් මිලදීගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

යම් පුද්ගලයෙක් නියමිත මිලට වඩා වැඩි මිලට ගෑස් අළෙවි කරන්නේ නම් 1311 ක්ෂණික දුරකථන අංකයට අමතා ලිට්‍රෝ සමාගම දැනුවත් කළ යුතු බව ද ලිට්‍රෝ සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනී චමනි පතිරගේ මහත්මිය පවසන්නීය.