(යොහාන් භාසුර)

ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට අධික සංඛ්‍යාවක් අද (24) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දෙවලපොල යකහටුව, ඉමදූව වල්පොළ, මිනුවන්ගොඩ යකහඩුව, මොරගකන්ද මදුරකාටිය, බණ්ඩාරවෙළ කුඹල්වෙල සහ හලාවත යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකින් එම සිද්ධීන් වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධීන් අතරින් දෙවලපොල යකහටුව ප්‍රදේශයේ නිවසක පෙරේදා (23) රාත්‍රී ගෑස් ලිප පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් එම නිවසට දැඩි හානි සිදුවී ඇති අතර එහි පදිංචිකරුවන් මංගල උත්සව සැරසිලි ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිසාවෙන් එහි තිබූ සැරසිලි භාණ්ඩ විශාල තොගයක් සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී තිබේ.

විනාශ වී ඇති සැරසිලි භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 75 ක් පමණ වන බවත් එම ව්‍යාපාරිකයා ‘ලංකාදීප’යට පැවසීය.

ගෑස් ලිප පුපුරා යෑමෙන් මෙම ගින්න ඇතිවී ලිපේ උඩ කොටස පුපුරා ගැලවී ගොස් තිබූ බවත් අසල්වැසියන් ගින්න නිවීමට කටයුතු නොකළේ නම් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වන බවත් එම ව්‍යාපාරිකයා වැඩි දුරටත් කීය.

බණ්ඩාරවෙළ කුඹල්වෙල ප්‍රදේශයේ නිවසක රාත්‍රී ආහාර පිසිමින් සිටියදී ඊයේ (23) ගෑස් ලිප පුපුරා යෑමෙන් ලිපට දැඩි හානි සිදුවුවද නිවැසියන්ට කිසිඳු හානියක් වී නොමැත.

මොරගකන්ද මදුරකාටිය අක්කර 7 ප්‍රදේශයේ නිවසක ඊයේ (23) රාත්‍රී ගෑස් ලිප පුපුරා ඇති අතර එහිදී කිසිඳු පුද්ගලයෙක්ට හැනියක් වී නොමැත.