(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගෑස් සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ නියමාකාර රසායනාගාරයක් නැති හෙයින් එවැනි රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය.

ආණ්ඩුව රුපියල් මිලියන 250 ක් හෝ මිලියන 500ක් වැය කළ හොත් එම රසායනාගාරය ස්ථාපිත කිරීමට හැකියාව තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ පැන නැගී තිබෙන ගෑස් අර්බුදය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දිය හැකි දැයි මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදුන් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ විපක්ෂ නායකවරයා ද මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් සමඟ උපදේශක කාරක සභාව රැස්වී සියලු නිලධාරීන් කැඳවා ගෑස් ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ බවයි.ඒ පිළිබඳ කාරක සභා  වාර්තාව සැපයීමට හැකියාව තිබෙන බවද සභානායකවරයා සඳහන් කළේය.