(යොහාන් භාසුර)

ලංකා ධීවර සංස්ථාවට අයත් ගාල්ල ශීතාගාර සංකීර්ණයේ මසුන් සැකසුම් ඒකකයේ අධිශීතාගාර සහ ශීතාගාර බදු පදනම මත ලබාගෙන තිබෙන ප්‍රධාන පෙළේ ටින්මාළු සමාගමක් ගිවිසුම් කඩකරමින් රුපියල් මිලියන 6ක බැංකු ඇපකරය තැන්පත් කිරීම වසරකට වැඩි කාලයක් පැහැර හැර ඇති බව වාර්තා වේ.

රුපියල් මිලියන 3 ක මාසික කුලී පදනමක් මත පසුගිය වසරේ (2021) ජුලි මස 22 වැනිදා මෙම ටෙන්ඩරය පිරිනමා ඇති අතර එම ටෙන්ඩරය ලබාගත් අදාල සමාගම රුපියල් මිලියන 9ක ස්ථාවර තැම්පතුවක් සහ රුපියල් මිලියන 6ක බැංකු ඇපකරයක් පිහිටුවීමට ගිවිසුමෙන් පොරොන්දු වී තිබේ.

එම සමාගම ස්ථාවර තැන්පතුව පමණක් තැම්පත් කර බැංකු ඇපකරය දින හතක් තුළ තැන්පත් කරන බව පොරොන්දු වී ඇතත් මේ දක්වා එම ඇපකරය තැන්පත් නොකර ගිවිසුම් කඩකර ඇති බවට ධීවර සංස්ථාව අවස්ථා කීපයකදී ලිඛිත සිහිකැඳවීම් කර තිබේ.

ගිවිසුම් කඩකර ඇති මෙම සමාගම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාල සමාගමේ කාර්ය සාධක බැදුම්කරය අවලංගු කරන ලෙසත් ලංකා ධීවර සංස්ථාවේ අධ්‍යක්‍ෂ මඩුල්ල සහ නීති අංශය එම සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පාලනාධීකාරියෙන් ඉල්ලා ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක ගෙන නොමැති බවත් ධීවර සංස්ථාව ක්‍රියාමාර්ග නොගැනීම නිසා ගිවිසුම් කඩකර ඇති ටින්මාළු සමාගම මාස තුනක මාසික කුලිය ද ගෙවා නැතැයි වාර්තා වේ.