(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලාංකික  ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන  යුරියා පොහොරවලින්  මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000ක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබිණි.

මෙම යුරියා පොහොර තොගය අක්කරයකට වඩා අඩු කුඹුරු ප්‍රමාණයක් තිබෙන ගොවීන් 375,000කට එක් ගොවියෙකුට කිලෝග්‍රෑම් 50ක් බැගින්  නොමිලයේ ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරින් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු  මහ කන්නය සඳහා යුරියා පොහොර නොමිලේ ලබා දීමට එකඟතාවය පළ කරනු ලැබීය.

එහි පළමු තොගය වශයෙන් මෙට්‍රික් 1000ක් ඉදිරි සති දෙක තුළ ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.