(විනීතා එම් ගමගේ)
අක්කරයකට වඩා වගාබිම් ඇති ගොවීන්ට ගිනි අවි ලබාදීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විරෝධය පළ කළේය.
තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමයේ ද ගොවින් වගාබිම් රැකගැනීමට ගිනි අවි ඉල්ලා සිටි නමුත් තමන් ඒ පියවර පිළිනොගත් බව අමරවීර මහතා සඳහන් කළේය.
වනසතුන්ගෙන් වගාවන්ට වන හානි වැළැක්වීමට නම් ගිනි අවි ලබාදීම වෙනුවට ගත හැකි පියවර පිළිබඳව විද්‍යාත්මක හා සම්ප්‍රදායික යන අංශ දෙකෙන්ම නිසි අධ්‍යයනයක් සිදුකළ යුතු යැයි පරිසර අමාත්‍යවරයා කීය.
රජය ගෙන ඇති මෙම තීරණය පිළිබඳව අමාත්‍යවරයාගේ මතය කුමක්දැයි පරිසර අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමරවීර මහතා මේ බව කියා සිටියේය.
ඇතැම් සතුන්ගේ ගහණය ඉහළයාමට හේතුව විලෝපිතයින් වඳ වී යාම, කැළෑ එළි පෙහෙළි කිරීම, මිනිස්සු සතුන්ට ජීවත් වීමට තිබෙන ඉඩම් අල්ලා ගැනීම හා කැළෑ විනාශ කිරීම යැයි කී අමාත්‍යවරයා මේ නිසා අදාළ ආයතනවල නිලධාරින් විසින් නව තාක්ෂණික ක්‍රම අත්හදා බැලිම කළයුතු බවත් එවිට සතුන් ගෙන් සිදුවන වගා හානි අවම කර ගත හැකි වන අතර මිනිසාත්, සතුනුත් මෙම පරිසරය තුළ ජීවත් කළ හැකි සමතුලිත වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කළ හැකිවනු ඇති බවත් කියා සිටියේය.
මෙරට වගාවන්ගෙන් සියයට හතලික පමණ අස්වැන්නක් වනසතුන් විසින් විනාශ කරන්නේ යැයි ද රිළවා, වඳුරා, මොනරා, වල් ඌරා, දඬුලේනා හා ඉත්තෑවා මේ අතර ප්‍රධාන වන්නේ යැයි ද කී අමරවීර මහතා මරාදමනවාට වඩා ඔවුන්ගේ බෝවීම අඩුකළ හැකි ක්‍රම හා ඔවුන් පළවා හැරීමට යොදා ගත හැකි විදුලි උපාංග වැනි නව තාක්ෂණික ක්‍රම ද ඇති බවත් ආයුධ ලබා දුන් පමණින් අහිංසක සතුන් මරා දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පරිසරවේදීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, මේ ගොවීන් ජීවත්වෙන ප්‍රදේශවලට ගොස් මේ සතුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවන්නේ ඇයි..?
ඇමැතිතුමනි, ඊට පස්සේ රටේ අපරාධ වැඩි වෙන්නත් පුළුවනි. පොඩි කතාවටත් වෙඩිතියාගෙන මරාගනියි. වෙනත් විකල්පයක් සොයා ගත්තොත් මීට වඩා හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ...
මිනිසා පමණක් නොව මේ පරිසර පද්ධතින් තුළ සෑම සතෙකුම ජීවත් විය යුතුයි. පරිසර පද්ධතින් සමතුලිත වන්නේ මේ සියල්ලම වැසුවොත් පමණි. පරිසරයේ අසමතුලිත බව නිසා මේ වන විටත් අපි විවිධාකාරයේ අර්බුද වලට මැදිහත් වී ඇති අතර ගොවීන්ට ගිනිඅවි දීම මගින් මේ සිදුකරන්නට යන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමටයි. මහින්ද අමරවීර ඇමතිවරයාගේ විග්‍රහය නිවැරදියි. නයාවත් නොමරා පොල්ලත් නොකඩා ගන්නා ක්‍රමයකට අප යා යුතුයි. ඒ සඳහා විසඳුම්, විකල්ප නොසොයා මේ කරන්නට යන මුග්ධ ක්‍රියාවලට යමෙක් අනුබල දෙන්නේ නම් ඒ තවත් එවැනිම මුග්ධයෙක් පමණි...
රිළවා, වඳුරා, වල් ඌරා කිව්වේ ඇමැති තුමාටද? එහෙනම් හරි...
රටේ නායකත්වයට එන්න වටිනා මනුස්සයෙක්. කවදත් වැදගත් විදිහට කතාකරපු, වැඩකරපු කෙනෙක්...